Pages

Thursday, April 25, 2019

බුර්කාව අවශ්‍ය නොවන බව මුස්ලිම් සංගම්ම කියයි


රටේ තුල පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලිමක් කරයි.
බුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මත සිදුකරන්නක් බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවිතුමා පැවැසීය.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය මිලිගාවත්තේ පිහිටි එහි මූලස්ථානයේ අප්‍රේල් (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
     ‘‘බුර්කාව පිළිබඳ අපේ ප‍්‍රකාශය තමයි මේක සංස්කෘතියක්. ඒ වගේම සෑම දෙනාගේම පෞද්ගළික  අයිතිවාසිකමක්.
අපි මෙතන සංවිධානයක් විදියට ආගමික නායකයන් විදියට  ප‍්‍රචාරය කරලා නෙමෙයි  ඒ අය බුර්කාව දාන්නේ. එහෙම දානවනම් සමස්ථ  මුස්ලිම් කාන්තාවන් එය පලදින්න ඕන.  අපි කියලා නෙමෙයි මේ කලු පාටින් මුහුණ ආවරණය කරන්නේ.  ඒක ඒ අයගේ කැමැත්ත මත මොකක්ද හොඳ කියලා හිතලා දාගෙන යනවා.
නමුත් මේ අවස්ථාවේදී මේ මුහුණු වහගෙන යන අය  පිටුපස්සේ කවුද යන්නේ කියලා මහජනතාව බියට පත්වෙලා තියෙනවා.  සැකෙන් ඉන්නවා.  ඒ නිසා  මහජනයාගේ ආරක්ෂාව සඳහාත් අපේ  රටේ ඉන්න ආරක්ෂක අංශ වලට  සහයෝගය දීම සඳහාත් මේ කාලයේ  පොදු ස්ථාන වලට යනවනම් මුහුණ ආවරණය කරන්න එපා කියලා. 
ඒ වගේම තමන්ගේ හැඳුනුම්පත  අරගෙන යන ලෙසත්,  අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂක අංශයට සහයෝගය ලබා දෙන ලෙසත් අපි කාන්තාවන්ගෙන් කාරුණික ඉල්ලිමක් කරනවා‘‘ යැයිද ඔහු  වැඩිදුරටත්  එහිදී පැවැසීය.

No comments:

Post a Comment

Previous News